Skip to main content

සාහිත්‍ය රසාස්වාදය 15 - නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව - උසස් පෙළ

නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව

ක්‍රි.ව.1949 සැප්තැම්බර් 29 දින ධර්මසිරි රාජපක්ෂ සූරීන් උපත ලැබූහ. ඔහු ගත කළ ජීවිතය දුෂ්කර සමයක් වූ හෙයින් එය සංවේදී සිතකට මනා තෝතැන්නක් විය. 'ඉතින් සහෝදරවරුනේ' නිර්මාණය ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. ධර්මසිරි රාජපක්ෂයන් නිදහස් කවියේ දෙවන තරංගය නියෝජනය කරයි.

රබර් කිරි කැපීමේ කර්මාන්තයේ නියුතු නැඟණිය පිළිබඳ සිහිපත් කරන සහෝදරයෙකුගේ සිතැඟි මෙහි කාව්‍යානුභූතියයි. සොයුරු පෙම වෙනුවෙන් කළ හැකි පරිත්‍යාගයන් පිළිබඳව පාඨක සිත තුළ ගැබ්කරවාලීම මෙම පද්‍යයේ අරමුණයි.

"නින්ද නැති 
 මේ රැය
 ගෙයින් පිට රැළි 
 ගසන සඳ වතුරය

 රබර් ගස්
 නැති නමුදු
 සීතල සිංහරාජය
 පාමුලේ
 සිහි වේ මට
 නිදිමත ආනන්දයේ
 චමත්කාරය වගුළ
 සඳපහන උරා මත් වූ
 ගමේ රබර් යාය

 නවම් මහේ ගෙවී
 යන
 ඉපල් අතු අග
 මුදු ළපටි දලු ඇදෙන
 රාත්‍රියේ"

මෙහි කථකයා සීතල සිංහරාජයේ නිදි වර්ජිතව සිටින අතර ඔහුට නිතරම සිහිවන්නේ සිය නැඟණියයි. සද එළිය දෝරෙ ගලන රාත්‍රියෙහි ඈ විසින් රබර් කට්ටිවල වගුරන ශ්‍රමය ඔහුට සිහි වේ. මෙහිදී කථකයා මෙහි අලංකාරය වඩ වඩාත් පෙන්නුම් කරවාලීම සඳහා 'සඳපහන' නම් වූ රූපකයද භාවිතා කොට ඇත. සඳ එළියෙන් මත් වී තිබෙන ගමේ රබර් යාය කථකයාට නිදිමත අතරින් සිහි වේ. එමෙන්ම නැඟණියගේ දෑත් වල ඇති කෙසඟ භාවය පිළිබඳ සහෘද සිතෙහි සංකල්ප රූපයක්ද මවන කථකයා තවද තම මතකයන් ආවර්ජනාත්මක ස්වරූපයකින් සහෘදයාට ගෙන හැර පායි.

"කුප්පි ලාම්පුව දැල්ල
 මිලින කොට
 පිඟන් කටු කෑල්ලක්
 ගෙන 
 කිරි පිහිය මුවහත්
 කරමින
 සොඳුරු වූ
 රහසිගත සෙනෙහ 
 වීණාව ගෙන

 සඳ පහන සේ
 ආදරෙන් 
 වය වයා
 මිහිර විඳ විඳ"

උක්ත පැදි පෙළෙහි කුප්පි ලාම්පුවේ දැල්ල, පිඟන් කටු කෑලි, කිරි පිහිය යනාදිය නැඟණියගේ ජීවන තත්ත්වය කියා පායි. දුෂ්කර දිවියකට හිමිකම් කියන සිය නැඟණියගේ යථා ස්වරූපය එනයින් පාඨකයාට අවබෝධ වේ. මෙහිදීද කථකයා කිරි පිහිය මුවහත් කිරීම සෙනෙහෙ වීණාවට සමාන කොට රූපකාලංකාරය ගොඩනංවා ඇත. එය සංකේතාත්මක යෙදුමක්ද වන්නේ කථකයා උපයුක්ත කොට ගෙන ඇති මතෘකාවද එනමින් හැඳින්වීම නිසාවෙනි. එනමුත් එය සඳපහන සේ ආදරෙන් ඇය සිය වෘත්තියෙහි නියැලෙන ආකාරය පිළිබඳ කථකයා මෙයින් ගම්‍ය කරයි.

"බොහෝ වේලා
 නිදිවරන
 නැඟණියනි
 රළුය
 නුඹෙ අත
 කිරි පිහියට

 මුදුය
 සුපිරිසිදු ය
 නුඹෙ දෑත"

කිරි කපන තම නැඟණිය ගෙවන කටුක කර්කශ දිවිය පිළිබඳ නිරූපණය කරන කවියා නිදිවර්ජිතව ඇය කරන කාර්‍යයෙහි මහත්වය නිරූපණය කරයි. එම නිසා නැඟණිය පිළිබඳ සහනුකම්පිත බවත් රසික සිතෙහි නිතැතින්ම ජනිත වේ.

"දිගු කොට සඳ
 කැරැල්ලක් සේම
 ඒ අත
 මාත් වාඩි කරගනු
 මැන ඔය සඳ යට ම
 නැඟණිය නි"

ගමෙන් දුර ඈතක පිහිටි සිංහරාජයෙහි වෙසෙන සිය සොයුරා තවමත් ගමෙහි දුෂ්කර කාර්‍යයක නියුතු සිය නැඟණිය පිළිබඳ කෙරෙන මෙකී ශෝකාලාපයෙන් සහෝදර ප්‍රේමයද මැනවින් විශද වේ. සඳ කැරැල්ලක් සේ යන උපමාවද මෙකී අනුභූතියට දායක වී ඇත. තමාද ඈ අබියස වාඩි කරගන්නා ලෙස පැවසීමෙන් තමා හා නැඟණිය අතර කිසිඳු විශමතාවක් නොපවත්නා බැව් ධ්වනිත වේ. මෙය බලන කළ සහෝදර ප්‍රේමය නිරූපණය කරමින් දරිද්‍රතාවයෙන් පෙලෙන කිරි කපන සිය නැඟණිය පිළිබඳ දුක්බර හදැති සොයුරකුගේ පුද්ගල මනෝභාවයක් නිරූපිත සාර්ථක වූ පැදි පෙළක් ලෙස මෙය අගයනු හැකිය

- විදුෂි නතාෂා - 
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)


Comments